FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය හෙවත් HIV වයිරසය. මානව වර්ගයාගේ සෞඛ්‍ය කෙරෙහි ඇති කළේ විශාල බලපෑමකි.  වර්තමාන තත්වය වෙනස් වී HIV යනු මාරාන්තික වයිරසයක් ලෙස හදුන්වනු නොලබයි. මුල් අවධියේදීම හදුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් HIV වයිරසය ඒඩ්ස් තත්වයට පත්වීම වලක්වා ගත හැකිය.

මෙම වයිරසය මානව දේහයට ඇතුළු විය හැකි ක්‍රම කීපයකි. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, රුධිර පාරවිලයනය, රුධිරය තැවරුණු ඉදිකටු හෝ කැපුම් උපකරණ හවුලේ භාවිතා කිරීම මගින්. මවකගෙන් දරුවාට කුසතුල සිටියදී ප්‍රසුතියේදී හා මව් කිරි දීම යන ආකාරවලින්.  මදුරුවන් මගින් හවුලේ වැසිකිළි භාවිතයෙන් සහ අතට අත දී ආචාර කිරීම මගින් HIV වයිරසය බෝ වීම සිදු නොවේ.   

ලිංගික සක්‍රීය වයස් කාණ්ඩය වන වයස 18 – 49 ත් අතර වයස්වල පසුවන අයට මෙය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතී.

2018 වර්ෂය අවසන් වන විට ලොව පුරා HIV ආසාදිතයන් මිලියන 37.9 දක්වා වැඩි වී තිබිණ. සෑම වසරකම අලුතින් මිලියන 1.7 ක ආසාදිතයන් ප්‍රමාණයක් මෙයට එකතු වෙමින් යයි.

ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ ඇති ප්‍රධානම ඉලක්කයකි AIDS ලොවින් තුරන් කිරීම  ඒ 2030 වන විටය. ශ්‍රී ලංකාව ඊට පෙර එනම් 2025 වර්ෂය අවසාන වන විට AIDS වලින් තොර රටක් බවට පත් කිරීමට නියමිතයි. ඒ සදහා සැලසුම් හා ක්‍රියාකාරකම් බොහොමයක් ක්‍රියාවට නංවමින් තිබේ. මෙහිදී AIDS මරණ අවම කිරීම අලුතින් HIV ආසාදිතයන් එකතු වීම අවම කිරීම සහ එම ආසාදිතයන් කොන් කිරීම හා වෙන් කොට සැලකීම අවම කිරීම යන ඉලක්ක ඇතුලත් වේ.

ලොව අන් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ HIV වර්ධනය වන ප්‍රවනතාවය අඩු වී තිබූ නමුත් 2013 සිට සෑම වසරකම හදුනා ගන්න HIV ආසාදිත ප්‍රමාණය වර්දනය වී ඇත.

  • 2013 – 196
  • 2014 – 228
  • 2015 – 235
  • 2016 – 249
  • 2017 – 285
  • 2018 – 350

මේ වනවිට ශ්‍රී ලංකාව තුල HIV ආසාදිතයින් 3500 දෙනෙක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත. HIV ආසාදන වැඩිපුරම වාර්තා වී ඇත්තේ පිරිමි-පිරිමි සමලිංගික සම්බන්දතා පවත්වන අය අතර වීම කැපී පෙනෙන්නකි.

යමෙක් HIV ආසාදිතයෙක්ද නැද්ද යන වග දැනගත හැක්කේ ඒ සදහාම වූ රුධිර පරීක්ෂණයකින් පමණි.  වෛරසය ශරීර ගත වී ඇති බවට හදුනාගතහොත්  එතැන් පටන් ඔහුට ඖෂධ ප්‍රතිකාර නියමු කරනු ලැබේ. මෙම ඖෂධ ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමෙන් ආසාදිතයන්ට වඩා ගුණාත්මක ජීවිතයක් ගත කල හැක. එපමණක් නොව තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයද අඩු වේ. තනි පෙත්තක් හෝ පෙති කීපයක් ලෙස මෙම ඖෂධ ලබා දෙනු ලැබේ. මෙම ඖෂධ හා පරීක්ෂණ සේවා රජයේ රෝහල්වලින් හිමිවේ. ඒ සදහා රජයේ රෝහල්තුල ලිංගාශ්‍රිත රෝග සායන නමින් විශේෂිත සායනයක්ද පවත්වාගෙන යයි. මේවා සතියේ සෑම දිනකම පෙරවරු 8.00 සිට 4.00 දක්වා සහ සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 12.00 දක්වා ඔබට සේවය සැපයීම සදහා විවෘතව ඇත. රෝගීන්ගේ රහෂ්‍ය භාවය ආරක්ෂා පමණක් නොව සුහදශීලී සේවාව ගැන වග වෙයි.

ඔබට යම් සැක සහිත ලිංගික ඇසුරකට යොමු වුයේ නම් හෝ වෙනත් සැකයක් තිබේ නම් වහාම ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න. අදාළ පරීක්ෂණ නොමිළේ කරවාගන්න.  

සැකසුම – පාලිත බණ්ඩාර

මුලාශ්‍රය – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB).