FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ලිංගිකව එක්වීම පොදු ධර්මතාවයක් වුවත් එම අවස්ථාවට මුහුණ දෙන දෙදෙනාගෙන් එකකු හෝ අකමැත්තෙන් එය සිදුවීම එම අකමැති පාර්ශවයට හිරිහැරයකි. එම  නිසා එය වරදකි.  මානව සමාජය තුල මෙය වරදක් ලෙස සම්මත කරගෙන දඩුවම් ලබා දීම දක්වා දිගු වී ඇත.

ලිංගික ක්‍රියාවකට කැමැත්ත ලබා දීමේදී තීරණ ගැනීමේ හැකියාව සහ තීරණ ගැනීමේ හැකි වයසකට පැමිණ සිටිය යුතුය ඒම තැනැත්තා හෝ තැනැත්තිය නිවැරදි මානසික තත්ත්වයක සිටිය යුතුයි. එමෙන්ම මෙයට බලපෑමක් නොවිය යුතුය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට තීරණ  ගැනීමේ හැකියාව නැත. ලංකාව තුල නම් වයස     අවුරුදු 18 ට අඩු නම් ඔහු හෝ   ආය බාල වයස්කාර දරුවෙකි. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් තීරණ ගනු ලබන්නේ ඔවුන්ගේ  දෙමාපිය විසිනි හෝ බාරකරුවන් විසිනි.  එවන් නොමේරූ වයසකදී ලිංගික ක්‍රියාවන්වල යෙදීම පිලිබදව තීරණය කිරීම උගහටය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ළමා ලිංගික හිංසනය අර්ථ දක්වා ඇත්තේ, දරුවකු , ඔහුට හෝ ඇයට සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි, දැනුම්වත් වී කැමැත්ත දිය නොහැකි, සංවර්ධනය ඇතින් සුදානම්වී නොමැති සහ සමාජ සදාචාරයන්ට හෝ නීතීන්ට පටහැනි වන අකාරයේ ලිංගික ක්‍රියාවක යෙදවීම ලෙසටයි.

ළමා ලිංගික හිංසනය සිදුවිය හැක්කේ වැඩිහිටියකුගෙන්, ඔහුට හෝ ඇයට වඩා වයසින් වැඩි වර්දනයෙන් වැඩි හෝ බලයෙන් වැඩි තවත් ළමයකුගෙනි, එමෙන්ම අදාළ දරුවාගේ වගකීම, විශ්වාසය හා බලය ඇති තවත් දරුවකුගෙන් සිදු විය හැකියි.

ළමා ලිංගික හිංසනය යනු ලිංගික සංසර්ගයේ යෙදීම පමණක් නොවන අතර අසභ්‍ය දසුන් පෙන්වීම, දරුවා ඉදිරියේ ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, ළමයාගේ ලිංගික අවයව ස්පර්ශ කිරීම, ළමයා ලවා වැඩිහිටියන්ගේ ලිංගික අවයව ස්පර්ශ කරවා ගැනීම, ළමයා ලිංගික ක්‍රියාවල යෙදවීම හෝ ඒ සදහා පෙලබවීමද ළමා ලිංගික හිංසනයට ඇතුලත් වෙයි.

මෙය විශ්වාසය, බලය හා ආධිපත්‍ය පදනම් වූ සින්සනයකි. මේ හේතුවෙන් හිංසනයට ලක්වන දරුවාට කෙටි කාලීන මෙන්ම දීර්ග කාලීනවද ගැටළු ඇති විය හැක.  ප්‍රධාන වශයෙන් හින්සකයාගේ තර්ජන හා බලපෑම්වලට බියෙන් හිංසනයට ලක් වූ දරුවා මේ පිලිබදව හෙළි නොකර සිටීමෙන් ඔහුගේ හෝ ඇයගේ පීඩනය සහ අතුරු ප්‍රථිපල වර්ධනයටද බොහෝ විට ඉඩ කඩ පවතී.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව යම් පුද්ගලයකු අවු 16 ට අඩු ගැහැණු දරුවකු සමග කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලිංගික සංසර්ගයේ යෙදීම දුෂණයකි. එවන් වරදකරුවෙකුට වසර 7 කට නොඅඩු 20කත නොවැඩි බරපතල වැඩ සහිත සිර දඩුවම් හා දඩයකට යටත් කල හැකි අතර ඊට අමතරව අගතියට පත් පාර්ශවයට අධිකරණය මගින් තීන්දු කරනු ලබන වන්දියක්ද ගෙවීමට සිදු වේ. මේ නිසා අවධානයෙන් පසුවන්න. ඔබ අහල පහල හෝ වෙනත් දන්නා අදුනන දරුවකු මෙවන් සිදුවීමකට ලක්වෙමින් පවතී නම් වහාම 1969 අමතා ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දෙන්න.

සෑම වයස් කාණ්ඩයකම දරුවන් ලිංගික හිංසනයට ලක් විය හැකිය. එවන් තත්ත්වයකට මුහුණ දීමට ඇති අවධානම වැඩි කරන ලක්ෂණ කීපයකි.

  1. දෙමාපියන් මිය ගොස් ඇති දරුවන්.
  2. අවශ්‍ය අවස්ථාවල දෙමාපියන් ලග නැති දරුවන්.
  3. යහළුවන් ඉතා අඩු සංඛ්‍යාවක් සිටින දරුවන්.
  4. සුළු පියෙකු හෝ මවගේ සහකරු සමග ජීවත්වන දරුවන්.
  5. ශාරීරික හෝ මානසික දුබලතාවයන් ඇති දරුවන්.
  6. මානසික ආබාධ වලින් පෙලෙන අය සිටින නිවෙස්වල දරුවන්.
  7. දෙමාපියන් කුඩාකල ලිංගික අපයෝජනයට ලක් වූ අතීතයක් ඇති දරුවන්.
  8. යම් ස්ථානයක තාවකාලිකව පදිංචි වී සිටින්නන්ගේ දරුවන්.

මෙම ලක්ෂණ ඇති සියලුම දරුවන් ලිංගික හිංසනයට ලක්වීමට අවස්තාව ඇතැයි නිගමනය කල නොහැකි වුනත් එවැනි දරුවන් සිටින පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීමට මග පාදා ගැනීමට මෙම කරුණු ඉවහල් කර ගත හැකිය.

මෙවැනි සිදුවීමකට මුහුණ දුන් ළමුන්ගෙන් පිලිබිබු විය හැකි චර්යාත්මක ලක්ෂණ ලෙස හදුනාගත් හැක්කේ.

  1. බියකරු සිහින දැකීම
  2. අනවධානය.
  3. ආහාර අරුචිය/ආහාර ප්‍රතික්ෂේප කිරීම.
  4. ගිලීමේ අපහසුතා.
  5. මනෝ භාවයේ (සිතේ ස්වභාවයේ) හදිසි වෙනස්වීම් ඇතිවීම – අන් අය කෙරෙහි ආවේගශීලී වීම, වෛරය/ දැඩි කෝපය, මානසික අවපීඩනය, පසු බැසීම.
  6. හේතුවක් පැහැදිලි කල නොහැකි නින්ද යාමේ අපහසුතා.
  7. යම් යම් ස්ථාන / පුද්ගලයන් කෙරෙහි අලුතින් ඇති වූ අධික භීතිය.
  8. හේතුවක් හදුනාගත නොහැකි ආමාශගත අපහසුතා.
  9. ස්නානය කිරීම/වැසිකිලි යාම/ඇදුම් මාරුකිරීම/වැනි ක්‍රියාවලිවල සාමාන්යෙන් පැවති රටාවට විරුද්ධ වීම.
  10. තරමක් වැඩිමහලු දරුවන් සංවර්ධනයේ පිරිහීම් ලක්ෂණ පෙන්වීම ඇද තෙමීම, ඇගිලි ඉරීම වැනි.
  11. තමාගේ ශරීරය “කිලිටි” හෝ නරක ලෙස හැගීම.
  12. දරුවාගේ වයසට වඩා ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවලින් නිරූපණය කොට දැක්වීම.
  13. ලිංගික රූප ඇදීම.
  14. ලිංගික අවයවවලට හෝ ලිංගික ක්‍රියාවලීන්ට අලුතින් සොයා ගත් වචන භාවිතා කිරීම.
  15. ලිංගික කරුණු හා ලිංගික අවයව ගැන දැඩි උනන්දුවක් / කැමැත්තක් දැක්වීම.
  16. අලුතින් හදුනාගත් “වැඩිමහලු” යහළුවන් ගැන කතා කිරීම.
  17. අලුත්/වැඩිමහලු යාළුවන් සම්බන්දයෙන් රහස් තිබීම හා ඒවා ඔබට පැවසීමට මැලිවීම.

ළදරු වයස පසු කර නව යෞවන වියේ පසුවන ළමුන් ඉහත ලක්ෂණවලට අමතරව වෙනත් චර්යාත්මක ලක්ෂණ පෙන්නුම් කරයි.

  1. තමන්ටම හානි සිදු කර ගැනීම.
  2. මත්පැන් මත්ද්‍රව්‍යවලට යොමු වීම.
  3. විශාදය.
  4. කාංසාව.
  5. පුද්ගලික ස්වස්ථාව පිළිබද උනන්දුව අඩුවීම.
  6. අනිසි ලිංගික සම්බන්ධතාවලට යොමු වීම.
  7. අන්තර්ජාලය/ජංගම දුරකථනය භාවිතයේදී අනිසි ලෙස රහස්‍යතාවයක් පෙන්නුම් කිරීම.
  8. නිවසෙන් පලායාම.
  9. ජීවිතය නැති කර ගැනීමට තැත් කිරීම.

ලිංගික හිංසනය පිටුදැකීම හා ළමුන් මෙයින් රැක ගැනීම මුළු මහත් සමාජ වගකීමකි. මෙවැනි සිදුවීම් වැළක්විය හැකි ක්‍රම වලින් ප්‍රධානම වැඩිහිටියන්ගේ අවධානය හා  ආරක්ෂාව ලමුන්වෙත යොමු කිරීමයි. තවත් ක්‍රමයක් නම් ළමුන් දැනුවත් කිරීමයි ඒ ඒ වයස්වලට ගැලපෙන අකාරයෙන් ගැලපෙන වචනවලින් ඔවුන් දැනුවත් කර ඔවුන්ගේ ආත්ම ආරක්ෂාව රක ගැනීමට දැනුවත් කල යුතුයි.

දෙමාපියන් හෝ භාරකරුවන් විසින් පහත සදහන් කර ඇති ශාරීරික ලක්ෂණවලින් කවරක් හෝ දරුවෙකුගෙන් නිරීක්ෂණය කළහොත්, විශේෂඥ උපදෙස් සදහා දරුවා වෛද්‍ය වරයකු වෙත යොමු කල යුතුය.

  • දරුවාගේ ලිංගික අවයවවල, ගුද මාර්ගයේ හෝ මුඛයේ පැහැදිලි කල නොහැකි, තැලීම්, ඉදිමුම් ස්වභාවය, රතු වීම හෝ රුධිර වහනයක් දක්නට ලැබීම.
  • දරුවකුගේ ලිංගික අවයවවල, ගුද මාර්ගයේ හෝ මුඛයේ වේදනාව.
  • ලිංගික ප්‍රදේශවල තුවාල දක්නට ලැබීම.
  • ලිංගික ප්‍රදේශයෙන් ශ්‍රාවයන් වහනය වීම.
  • ලිංගික අවයවවල, මුත්‍ර මාර්ගයේ හෝ මුඛයේ දක්නට ලැබෙන ආසාදන.
  • ගර්භනීභාවය

ළමුන් යනු සමස්ත මානව සමාජයේ ඇති ලොකුම සම්පතයි. මෙය රැක ගැනීම සමස්ත සමාජයේම වගකීමයි. එය පහර හැර සිටීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට නැත. සියලුම වැඩිහිටියන්ගේ කරමත නිරායාසයෙන්ම පැටවුණු වගකීමකි. සියලුම වැඩිහිටියන් මේ පිළිබද අවධානයෙන් පසු විය යුතුය. ළමුන් ලිංගික හිනසනයන් මුදවා ගැනීමට හැකි හොදම සහ සාර්ථකම ක්‍රමය මෙයයි.

 

සැකසුම – පාලිත බණ්ඩාර

මුලාශ්‍රය – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය (HEB).