FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

“ලාදුරු” බැක්ටීරියාවක් නිසා හට ගනී. මෙය බෝවෙන රෝගයකි. රෝග කාරක බැක්ටීරියාව නිරෝගී පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමෙන් එම පුද්ගලයාටද රෝගය වැළදිය හැකියි. රෝගය වැලදීම අසාදිතයාගේ ප්‍රතිශක්තිය අනුව තීරණය වේ. එනම් බැක්ටීරියාව ශරීරගත වූ සියලු දෙනාට ලාදුරු වැළදෙන්නේ නැත. සාමාන්‍යයෙන් 10% කට පමණක් වැළදේ.  රෝග කාරක බැක්ටීරියාව “Mycobacterium leprae” ය.

ලාදුරු රෝගියකුගෙන් පිටවන බැක්ටීරියාව නීරෝගී අයකුගේ ශ්වසන මාර්ගය හරහා ශරීරයට ඇතුළු වේ. රෝගියකුගෙන් බැක්ටීරියාව පිටවෙන්නේ කැස්ස හා ආශ්වාශ ප්‍රාශ්වාසය හරහාය. තවත් පුද්ගලයකුට ඇතුළු වන්නේ ද ආශ්වාසය හා ප්‍රශ්වාස ක්‍රියාවලිය මගිනි. රෝගී පුද්ගලයකු නිසි ප්‍රතිකාර ලබාගැනීම ආරම්භ කර දින කීපයකට පසු ඔහුගෙන් තවත් කෙනෙකුට බෝවීම වලකී.

මෙහි රෝග ලක්ෂණ වන්නේ

  • සමේ ස්පර්ශය සහ වේදනාව නොදැනෙන ලා පැහැති ලප ඇති වීම.
  • අත්වල හෝ පාදවල ස්පර්ශය සහ පවතින වේදනාව නොදැනීම.
  • සමේ ගැටිති හෝ කන් පෙති ඝන වීම.
  • පාදයේ වළලුකරට පහල කොටස අප්‍රාණික වීම.
  • අත්වල ඇගිලි වකුටු වීම.

 

මෙම රෝග ලක්ෂණ පවතීනම් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවිය යුතුමය. ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් ශාරීරික විරූපීතාවන් ඇතිවේ,  කලාතුරකින් සදාකාලික ආබාධ හට ගැනීමටද හැකිය. ප්‍රතිකාර ගත යුතු කාල පරිච්චේදය තීරණය වන්නේ රෝගියා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අවධිය අනුවය. එය මාස 6 සිට වසරක කාලයක් දක්වා දික් විය හැක. මීට වසර සියයකට පමණ පෙර මෙම රෝගය වැළදුන අය සාමාන්‍ය සමාජයෙන් වෙන් කර තබුන අතර ඒ සදහා විශේෂිත ස්ථානද පිළියෙළ කර තිබිණ. එහෙත් වර්තමානයේ එවැනි තත්වයක් ඇත්තෙම නැත. රෝගියාටද සාමාන්‍ය පරිදි තම නෑ හිතවතුන් සමග කාලය ගත කරන අතරතුර තමන්ගේ රාජකාරීන් වල නියලීමද කල හැක.

ශ්‍රී ලංකාව තුලද 2018 වසර දක්වාම ක්‍රියාත්මකව පවතී පනතක් විය, එයට අනුව ලාදුරු රෝගීන් වැලිසර ලාදුරු රෝහලට රැගෙන ගොස් රදවා තැබිය යුතුය. නමුත් මෙම යල් පැන ගිය නයිතික තත්වයද 2018 වසර මැදදී යාවත්කාලීන කර ලදී. ලාදුරු රෝගය සදහා දැන් ඇත්තේ රෝගියා හැකි තාක් ඉක්මනින් වෛද්‍යවරයකු හමුනොවන ගැටලුව පමණකි.

ශ්‍රී ලංකාව තුල මේ වනවිටත් වසරකට රෝගීන් 2000 ක් පමණ සොයා ගනියි. එයින් 10% ක් පමණම ළමා රෝගීන්ය. මෙම මුළු සංඛ්‍යාවෙන් 50% පමණම ප්‍රතිකාර පතා පැමිණෙන්නේ ප්‍රමාද වීය. මේ හේතුවෙන් ඔවුන්ගේ යම් යම් දුබලතා ඉතිරි වී රෝගය සුව වෙන අතර 7% ක ප්‍රමාණයකට අබාධිත තත්වයටත් පත්වේ.

නොපමාව වෛද්‍යවරයකු හමුවන්න. 100% සාර්ථක ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ තිබියදී නිකරුනේ විරූප වීම දැවැන්ත මෝඩ කමකි. ලාදුරු නිට්ටාවටම සුව කල හැක.

 

මේ දුරකතනවලට අමතන්න

ලාදුරු මර්දන ව්‍යාපාරය , වැලිසර, රාගම.    –  0112696444 ,  0112958658

 

සකස් කලේ –  පාලිත බණ්ඩාර.

මුලාශ්‍රය – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය