FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම මත වායු දූෂණය අවම වීම නිසා අහස ඉතාම පැහැදිලිව දිස්වන හෙයින් වලාකුළු රහිත විට දී තාරකා විද්‍යා නිරීක්ෂණ කිරීමේ ඉතා විරල අවස්ථාවක් මේ දිනවල ලැබි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

අද(16) සිට අප්‍රේල් 25 කාලය තුළදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්‍රහලෝකත් සමඟම හිරු නැගීමට පෙර නැගෙනහිර ක්‍ෂිතිජයට ඉහළින් ඇති බුධ ග්‍රහයාත්, උදේ පාන්දරින්ම දැකගත හැකි පැරණිතම වාර්ෂික උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් ද අළුයම් කාලයේදී හොඳින් දැක ගත හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ලයිරා තාරකා මණ්ඩලය දිසාවේ සිට උල්කා පැමිණෙනවා සේ දිස්වන හෙයින් මෙම උල්කා වර්ෂාව ලයිරිඩ්ස් නමින් හඳුන්වයි.

මේ දිනවල විචිත්‍ර උල්කාපාත පැයකට 5 ක් පමණ දැකිය හැකි නමුත්, අප්‍රේල් 22 වන දා රාත්‍රියේ පෘථිවියට උල්කාපාත ප්‍රවාහයේ උච්චතම කොටස හමු වන අතර, ඒ සමඟ උල්කාපාත පැයකට 20 ක් හෝ ඊට වැඩි ව දැකගත හැකි වෙයි.

හෙට(17) චන්ද්‍රයා ක්‍රමයෙන් දසුනෙන් ඉවත්වන බැවින් සහ 23 අමාවක ඇතිවන බැවින් උල්කා උච්චතමය වන 22වනදා වන විට සම්පූර්ණ දර්ශනය බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙන බව ඒ මහතා පවසයි. 

දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් හා බෙල්ලෙන් ඇති වන වේදනාව වළක්වා ගැනීම සඳහා උල්කා වර්ෂාව නරඹන අය උතුරු අහස පෙනෙන සේ බිම අත්රිල්ලක් දමා වැතිර සිටීම හෝ උද්‍යාන පුටුවක ඉද ගැනීම වඩා යෝග්‍ය වෙන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

සියලුම විදුලි පහන් නිවා දමා ඔබේ ඇස් අඳුරට අනුවර්තනය වීමට මිනිත්තු 15 – 20 ක් පමණ ඉඩ දෙන්න.

අප දකින මේ උල්කාවන් වසර 415කට වරක් හිරු වටා ගමන් ගන්නා  C / 1861 G 1 (තැචර් ධූමකේතුව) නම් වල්ගා තරුවක කක්ෂය අසලින් පෘථිවිය ගමන් ගන්නා විට එහි  කක්ෂයයේ හැලි ඇති කුඩා බොරළු කැට ප්‍රමාණයේ සිට ධුලි අංශු දක්වා කුඩා කොටස් පෘථිවි ගුරුත්වාකර්ශනයේ බලපෑම මත තත්පරයට කිලෝමීටර 48 ක පමණ වේගයෙන් පෘථිවියට ඇදී එනවිට පෘථිවි වායුගෝලයේ ඝර්ෂණය නිසා රත්වී පොළොවට කිලෝමීටර 100  කට පමණ ඉහළ අහසේ ගිනියම්ව දැවෙන අවස්ථාවයි.  

තවද මේ  දිනවල හිරු බැස ගොස් අහස කළුවර වූ විට රාත්‍රී 7.00  ට පමණ බටහිර අහසේ දීප්තිමත්ම වස්තුව ලෙස සිකුරු ග්‍රහයා ද අපට දැක ගත හැකිය. 

තාපය උරාගත හැකි හරිතාගාර වායුන්ගෙන් සමන්විත වායුගෝලය නිසා සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වය වැඩිම ග්‍රහයා සිකුරු වන අතර එහි මතුපිට උෂ්ණත්වය ජලය නටන උෂ්ණත්වය මෙන් හතර හමාරක ගුණයක් හෙවත් සෙල්සියස් අංශක 467 පමණ වෙයි.

බටහිර අහසේ සිකුරු ඉතාම දීප්තිමත්ව පෙනෙනුයේ අප්‍රේල් 27 දින රාත්‍රියේදී ය. 

ඉදිරි සතිය තුළ අනෙකුත් ග්‍රහ සහ ලියිරිඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම කාලය අළුයම 4.00 සිට 5.30 දක්වා වෙයි.

එකල ඔබට බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්‍රහලෝක තුනක් අහසේ මුදුනට සමීපව පිහිටා ඇති අයුරු ද හිරු උදාවට පෙර බුධ ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව ද දැක ගත හැකිය. 

මේ දිනවල වල රාත්‍රී අහසේ ක්ෂිරපතය ද හොඳින් දිස්වේ. 

චන්ද්‍රයා හැර මෙම ආකාශ සංසිද්ධිය 2020 අප්‍රේල් 16 සිට 25  දක්වා ම ද දැකිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

පාසැල් සිසුන්හට අහස නරඹා කොලයක තරු රටා සහ ක්ෂිරපතය ඇදීම, චන්ද්‍ර යා සහ ග්‍රහ වස්තූන්ගේ දෛනික චලිතය තමා ඇදි තරු සටහනෙහි දිනපතා ලකුණු කිරීම වායු දූෂණය අවම වීම නිසා ඉතාම පැහැදිලි අහසක් සහිත මේ විරලව ලැබෙන කාලය තුළ සිදුකරන ලෙස ට ද මහාචාර්ය චන්දන ජයරත්න ඉල්ලා සිටියි.

Source – adaderana.lk/news