FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

තරබාරුව හෙවත් අධික මහත්වීම බරපතල ගැටලුවක් වෙමින් පවතී. ලොව පුරා ජනගහණයෙන් බිලියනයක් දෙනා මේ වනවිටත් තරබාරු බැවින් අපහසුතාවයට පත් වී ඇත. වැඩිපුරම මේ තත්ත්වයට ගොදුරු වී ඇත්තේ කාන්තාවන් ය. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර මෙන්ම පාසැල් ළමුන් අතර ද මේ තත්වය ඉතා බහුලය. එමෙන්ම එය නොකඩවා වර්ධනය වෙමින් පවතී.

ඔබ තරබාරු වී ඇත් ද  යන්න දැනගැනීමට ඇති මිම්ම වන්නේ ශරීර ස්කන්ධ දර්ශකයයි. උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් පැවතීම අනිවාර්ය වේ. මෙයින් කුමක් හෝ වැඩි වී ස්කන්ද දර්ශකය වැඩි නම් ශරීරයේ සෞඛ්‍ය සමතුලිතතාවය බිදී යයි. තරබාරු බව මනින තවත් ඒකකයක් නම් ඉනේ වට ප්‍රමාණයයි. සමහරක් රටවල මේ ක්‍රමයද භාවිතා වේ. ඒ අනුව කාන්තාවන්ගේ ඉනේ වට ප්‍රමාණය උපරිමය 80cm විය යුතු අතර පිරිමින්ගේ නම් එය 90 CM වූවාට කම් නැත.

ස්ථුල තාවය ඇතිවන්නේ මේදය බහුලව තැන්පත් වීම නිසාය. මෙම අමතර මේදය තැන්පත් වන ස්ථාන ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වේ. ඒ අනුව පුරුෂයන්ගේ උදරය හා පපු පෙදෙසත් , ස්ත්‍රීන්ගේ  නම්  කලවා හා නිතබ ප්‍රදේශයේත් වැඩියෙන් තැන්පත් වේ. රෝග බාධ වලට ගොදුරු වීමේ අවධානම වැඩි කරන වන්නේ Visceral Fat යන බඩවැල් අතර තැන්පත් වන අතිරික්ත මේද මගිනි.  සමට යටින් තැන්පත් වන මේද තට්ටුව දරුණු රෝගාබාධ ඇති කිරීමේ අවධානමක් ඇති නොකරයි.  උදරය ඉදිරියට නෙරා එන්නේ නම් ඒ බඩවැල් අතර අතිරික්ත මේදය තැන්පත් වී ඇති බවට සලකුණකි. ශල්‍ය කාර්ම මගින් ඉවත් කල යුත්තේ මේ මේදයයි.

Visceral Fat නිසා ඇති විය හැකි රෝගී තත්වයන් නම් , හර්ද රෝග , අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් ඇති වීම, දියවැඩියාව (Type 2), පිළිකා , Asethma  වැනි ඒවාය. මීට අමතරව තරබාරු කම නිසා ඇතිවන අතුරු ප්‍රතිපලයක් වන්නේ නින්දේදී ගෙරවීමයි. ගෙරවීමට හේතුව වන්නේ ක්‍රමවත්ව ශ්වසන ක්‍රියාවලිය සිදු නොවීමයි. නින්දේ පසු වන විට පෙනහළු වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබේ නම් වහාම නින්දෙන් අවධි වීම සිදු වේ. මෙය නිරායාසයෙන්ම සිදුවන්නකි. මේ හේතුවෙන් නොකඩවා නින්දක් නොලැබේ. ප්‍රථිපලය වන්නේ ඊළග දිනයේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මානසික සුවතාවය නොලැබීමයි. දිවා කාලයේ නිදි බර ගතියෙන් පසු වීම තවත් ප්‍රථිපලයක්.

මුලදී තරබාරුව පිළිබද එතරම් අවධානයක් යොමු නොවූ නමුත් වර්තමානය වන විට එහි බරපතල කම මනාවට හෙළි වෙමින් පවතී. මේ තත්වය ඇති වීමට බලපාන හේතු සාධක දැනගැනීම් සියල්ලන්ගේ වගකීමකි.

ආහාර පරිබෝජන රටාව හා ගන්නා ආහාර ප්‍රමාණය ස්ථුලතාවයට හේතු වන ප්‍රධානම සාධකයයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර අනුභවය සිදුවන්නේ බොහෝ විට නොදැනුවත්වමය. මෙවැනි අවස්ථා ලෙස දැක්විය හැක්කේ.

1. හදිස්සියෙන් ආහාර අනුබව කිරීම. :- හදිස්සියෙන් ආහාර අනුබව කිරීමේදී අවශ්‍ය නියම ප්‍රමාණය ඉක්මවා ආහාර අනුබවය හා එවැනි අවස්ථාවල දී ආහාර නියම ආකාරයට කැබලි බවට පත් නොවී එනම් අවශ්‍ය ප්‍රමාණයට සැපීමකින් තොරව අමාශ ගත වෙයි.

2. රුපවාහිනී නරබන අතරතුර ආහාර ගැනීම. :- රුපවාහිනී තිරය ඉදිරියේ සිට ආහාර අනුබවයෙදී අවධානය කෙලින්ම යොමු වන්නේ තිරයට බැවින් පමණ ඉක්මවා ආහාර ගැනීම නිරායාසයෙන්ම සිදු වේ.

ශාරීරික ව්‍යායාම රහිත වීම, ප්‍රමාණවත් හා ක්‍රමවත් නින්දක් නොලැබීමත්, මත්පැන් භාවිතයත් ස්ථුල තාවයට ඍජුවම බලපාන හේතු සාදකයි. මීට අමතරව බලපාන අති විශේෂ කරුණක් වන්නේ බඩවැල ආශ්‍රිතව ජීවත්වන බැක්ටීරියා වලටත් ස්ථුල තාවය ඇති කිරීමට දායක වන බව සොයා ගැනීමයි. කෘතීම ආහාර හා වෙනත් ක්ෂණික ආහාර වල ඇති නොයෙකුත් රසායන ද්‍රව්‍ය, ප්‍රතිජීවක ඖෂධ නිසා බඩවැල ආශ්‍රිතව ඇති බැක්ටීරියා වල සංයුතිය වෙනස් වේ, ප්‍රථිපලය වන්නේ නිපදවෙන අයහපත් රසායනික ද්‍රව්‍ය මොළයට බලපා ආහාරයට පසු කුස පිරුණු බවට හගවන දැනීම වැලැක්වීමයි. මේ නිසා වැඩිපුර ආහාර ප්‍රමාණයක් ගැනීමට නිරායාසයෙන්ම පෙලබේ.

මේ හේතූන් සියල්ලම  වලක්වා ගැනීමෙන් පමණක් ස්ථුල තාවයට පත්වීම වලක්වා ගැනීමට හැකිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ ඔබ දැනටමත් ස්ථුලතාවයට පත්වී ඇත්නම්, ඊට අවශ්‍ය ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාව සතුව නැතුවාම නොවේ. ඒ අතරින් මේදය ඉවත් කරන ශල්‍යකර්ම ප්‍රධාන තැනක් ගනී. ස්ථුලතාවය අඩු කිරීමේ ඖෂධ වර්ග ද ඇත. මෙම ඖෂධවලින් ස්ථුලතාවය අඩු කරගැනීමට හැකි වුව ද , එය නැවත ඇති වීමේ අවස්ථා සම්පූර්ණයෙන්ම ආවරණය කල නොහැක.

 

ලිව්වේ – පාලිත බණ්ඩාර
මුලාශ්‍රය – සෞක්‍ය අධ්‍යාපන කාර්යාංශය (HEB)