FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ශ්‍රී ලාංකීය ජනගහණයෙන් සියයට 18ක් එනම් ඕනෑම පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු  කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පෙළෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සෞඛ්‍යය පිළිබඳ ජාතික සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ, ආඝාතය (අංශභාගය), පිළිකා, ඇදුම, මානසික රෝග, සන්ධි ඉදිමීම, අපස්මාරය වැනි දීර්ඝ කාලීන රෝගවලින් බහුතරයක් ජනතාව පීඩා විඳින අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 50ක්ම කිසියම් දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට හතක් දියවැඩියාවෙන්ද සියයට නවයක් අධික රුධිර පීඩයෙන්ද පෙළෙන බව එහි දැක්වේ.

රැකියා අනුව රෝග ව්‍යාප්තිය ගත් විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කළමනාකරුවන් ආදී වෘත්තීන්හි නිරත වන්නන්ගෙන් සියයට 13ක් දියවැඩියාවෙන්ද සියයට 8ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට ඉහළ අගයන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක වශයෙන් රෝග ව්‍යාප්තිය ගත් විට ඉහළම දියවැඩියා ව්‍යාප්තිය ලෙස සියයට 11ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ

 

මුලාශ්‍රය – ලංකාදීප (lankadeepa.lk)
ඩයනා උදයන්ගනී