FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද පියයුරු පිළිකාව කාන්තාවන් අතර වාර්තාවන පිළිකා අතරින් බහුලම පිළිකාවයි. ශ්‍රී ලංකාවේ පිළිකා පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී කාන්තාවන් අතර වාර්තාවන පිළිකා අතරින් 25% පියයුරු පිළිකා බව දක්නට ලැබේ. වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල වාර්තාවේ. මෙය දිනකට අලුත් රෝගීන් 6 – 7 ක් අතර ප්‍රමාණයකි. තවද පියයුරු පිළිකා රෝගීන්ගේ දත්ත අනුව රෝගීන්ගෙන් බොහෝ ප්‍රමාණයක් රෝගයේ මුලික අවස්ථාවේ වෛද්‍ය උපදෙස් සදහා  යොමු වී නොමැති අතර රෝගය ශරීරය තුල වැඩිදුර ව්‍යාප්ත වූ පසුව ප්‍රතිකාර සදහා යොමුව ඇත. රෝගයේ මූලික අවස්ථාවේ පියයුරු පිළිකාව ඉතා සරල ප්‍රතිකාර ක්‍රම මගින් සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාව ඇත.

tdz

පියයුරු පිළිකාවක් වැළදීමට හේතුව වන්නේ ජානවල සිදුවන යම් අසාමාන්‍ය තත්වයකි. මේ අසාමාන්‍ය තත්වය නිසා පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස ශෛලවල සිදුවන බෙදීමකි. ජානවල සිදුවන  මෙම අසාමාන්‍ය තත්වයට විවිද හේතු බලපායි. මේවා අතරින් ප්‍රධාන වන්නේ ප්‍රවේනිගතව (උපතින්ම) ලැබුණු අසාමාන්‍ය තත්ත්ව හෝ පාරිසරික හේතුන් වේ. පිළිකාව වැළදීමට ප්‍රවේණිය හේතුවක් වශයෙන් දායක වන්නේ 5 – 10 % අතර රෝගීන් සංඛ්‍යාවකට වන අතර වැඩි සංඛ්‍යාවක් අයහපත් පුරුදු හා වෙනත් පාරිසරික හේතු නිසා මෙයට ගොදුරු වෙයි. බොහෝ අවස්ථාවන්වලදී හේතු කීපයක් මේ සදහා දායක විය හැකිය. මෙම හේතූන් අවධානම් සාධක වශයෙන් හැදින්වේ. එහෙත් මෙම අවධානම් සාධක එකක් හෝ කීපයක් තිබූ පමණින්ම යම් කෙනෙකුට පියයුරු පිළිකාවක් වැළදෙන බවට නිගමනය කළ නොහැක. එමෙන්ම කිසිම පෙර අවධානම් සාධකයක් නොමැති අයකුට වුව ද පියයුරු පිළිකාවක් වැළදීමේ හැකියාව ඇත.

මේ රෝගය සදහා බලපාන වෙනස්කල හැකි අවධානම් සාධක වන්නේ.

1. දුම්පානය.
2. ව්‍යායාම නොකිරීම.
3. මධ්‍යසාර පානය.
4. අනවශ්‍ය ලෙස විකිරණ සදහා නිරාවරණය වීම.
5. අර්තවහරණයෙන් පසුව අධික ලෙස තරබාරු වීම.
6. හෝමෝන ප්‍රතිස්ථාපන (ඉස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන) ප්‍රතිකාර දීර්ඝ කාලීනව ලබා ගැනීම.
වෙනස් කල නොහැකි සාදක නම්.

1. ස්ත්‍රියක් වීම.
2. වයස්ගත වීම.
3. සමහර ජානමය තත්ත්වයන්.
4. ලේ ඥාතියකුට හෝ ඥාතීන් කිහිප දෙනෙකුට පියයුරු හෝ ඩිම්බ කෝෂ පිළිකා වැළදී තිබීම.

මේ කිනම් ආකාරයකින් හෝ වැළදෙන පියයුරු පිළිකාවක දැකිය හැකි රෝග ලක්ෂණ කිහිපයක් මෙසේය.

1. පියයුරුවල ගැටිත්තක්, ඉදිමීමක්.early-nbse4
2. පියයුරුවල මෑතකදී ඇති වූ හැඩයේ හෝ පෙනුමේ වෙනසක්.
3. පියයුරුවල පැහැදිලි අසමමිතික බවක් (මෑතකදී ඇතිවූ).
4. තන පුඩුවේ මෑතකදී ඇති වූ ගිලීයාමක් හෝ වෙනසක්.
5. පියයුරුවල වලගැසීමක්.
6. සම මතුපිට දදයක් හෝ තුවාලයක්, පැහැයේ වෙනසක්.
7. සමේ මතුපිට වෙනස්වීමක් (දොඩම් ලෙල්ලක මතුපිට පෙනුම වැනි).
8. තන පුඩුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීමක්.
9. පියයුරුවල නිතර ඇතිවන අසාමාන්‍ය වේදනාවක්.

මෙම පූර්ව නිමිති පිළිකාවක් නිසාම සිදු නොවිය හැකි අතර කෙසේ වෙතත් සැකයේ වාසිය කල් යැවීමට උපයෝගී කර නොගෙන එය වෛද්‍යවරයා හමු වීම ඉක්මන් කරගැනීමට භාවිත කල යුතුය.

තවද තමන්ගේ පියයුරු පිළිබදව දැනුවත්වීම හා අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ. මෙම අවධානය නිසා තමාගේ පියයුරු වල යම්කිසි වෙනසක් හදුනාගෙන වහාම වෛද්‍ය උපදෙස්  සදහා යොමු වීමට හැකියාව ඇති වේ.

ස්වයං පියයුරු පරීක්ෂාව තීරණ ගැනීම සදහා භාවිත නොකළ යුතු අතර. වහාම සුදුසුකම් ලත් වෛද්‍ය වරයකු කරා යොමු වීමට හේතුවක් ලෙස භාවිත කල යුතුය. මෙවැනි සායනික පියයුරු පරීක්ෂාව සිදු කරගත හැකි ස්ථාන ප්‍රධාන වශයෙන් තුනකි.

1. සෞක්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් පවත්වන සුවනාරී සායනවලින්.
2. රෝහල් වලින් පවත්වාගෙන යන සුවදිවී සායනවලින්.
3. රජයේ හෝ පෞද්ගලික රෝහල්වල පවත්වන සායනවලින්.

මෙම ස්ථානයන්ට අමතරව ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින්ද පිළිකා කලින් හදුනා ගැනීමේ සායනයක් සතියේ දිනවලදී නාරාහේන්පිට පවත්වාගෙන යන අතර මෙහිදීද සායනික පියයුරු පරීක්ෂාව ඇතුළු පිළිකා කලින් හදුනාගැනීමේ පරීක්ෂාවක් සිදුකර ගත හැක.

ඔබට මේ ස්ථානවලට යාමටත් යම් කාලයක් ගතවේනම් වහාම ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී, මහජන සෞඛ්‍ය හෙදි නිලධාරීනී හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී හමුවන්න. මන්ද මෙම පිළිකාව හදුනා ගන්නා ඉක්මන අනුව නිට්ටාවට සුව කල හැකි ප්‍රතිශතයද වෙනස් වන නිසාය. එනම් කලින් හදුනා ගත තරමට නිට්ටාවට සුව කල හැක.

 

Source – HEB Sri Lanka

By Palitha Bandara