FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

දියවැඩියාව හා ගර්භණී සමයේ දියවැඩියාව

දියවැඩියාව බෝ නොවන රෝගයකි. නිට්ටාවටම සුව කිරීමේ අවස්ථාද නැත.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ස්වභාවයෙන්ම ශ්‍රාවය වන ද්‍රව්‍ය වන්නේ ඉන්සියුලීන්ය. මෙමගින් මනාවට ශරීරයේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය වේ. යම් හෙයකින් ඉන්සියුලින් ශ්‍රාවය ක්‍රමවත් නොවීම හා මුළුමනින්ම ශ්‍රාවය නතර වූ විට රුධිරයේ සීනි පාලනය හරි හැටි සිදු නොවේ. එමෙන්ම ශ්‍රාවය වන ශ්‍රාවය වන ඉන්සියුලින් වලට රුධිරයේ ඇතිවන ප්‍රතිරෝධය නිසා සීනි ප්‍රතිශතය පාලනය නොවේ. ඇතිවන මෙම තත්ත්වයන් දෙක අනුව දියවැඩියාව වර්ග දෙකකට බෙදේ. එනම් Type 01 සහ Type  02 යනුවෙන් වේ.

යම් කාන්තාවක් ගර්භණී වූ විට දියවැඩියාව ඇති විය හැක. සියලුම ගර්භණී මාතාවන් මෙම තත්වයට මුහුණ දීමට සිදු නොවෙයි. රුධිරයේ සීනි මට්ටම ඉහල යාම තාවකාලිකව සිදු වුවද මෙය ඉස්තිර දියවැඩියාව දක්වා වර්දනය විය හැක. මෙම තත්වය උදා වුවහොත් වහාම තත්වය පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුවහොත් ඇති විය හැකි ප්‍රථිපල ඉතා භයානකය. ඇති විය හැකි අයහපත් ප්‍රථිපල වලින් සමහරක් නම්.

  • සංජානනීය අබාධ (උදා :- හර්දය වස්තුවේ උපතින්ම ඇතිවන අබාධ.)
  • ගබ්සා වීමේ ඉඩකඩ වැඩි වීම
  • අඩු වයසින් බිහි වීම.
  • මළ දරු උපත් සිදුවීම.
  • බර වැඩි දරු උපත් සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න උපදින දරුවාට ඇතිවන බලපෑම් වලින් කිහිපයකි.
  • අධික රුධිර පීඩනය ඇති විය හැක.
  • විසබීජ අසාදන තත්ත්ව හා සිසේරියන් සැත්කම්.
  • ප්‍රසුතියෙන් පසු අධික ලෙස රුධිරය පිට වීම.
  • දරුවා ප්‍රසුතියෙන් පසු මවට දියවැඩියාව වැළදීමේ අවස්තව 50% කි. මෙම අවධානම ප්‍රසුතියෙන් පසු වසර 5 – 10 ත් අතර කාලයේ පවතී. එමෙන්ම උපදින දරුවාටද දියවැඩියාව වැළදීමේ අවස්ථාව ඇත.

 

ගර්භණී බාවයට එලබීමට පෙරාතුව මවට දියවැඩියාව තිබිය හැක. එම අවස්ථාවන්වලදී ද ඉහතින් දැක්වුණු අහිතකර ප්‍රථිපල ඇති වීමේ අවධානය එලෙසින්ම පවතී. එම නිසා මෙම තත්වය මනාවට පාලනය කරන්න.ඔබත් අලුත උපන් දරුවටත් නිසැකවම යහපත සැලසේ.

පොදුවේ සියලුම දෙනා දියවැඩියාවෙන් ගැලවිය යුතුය. දැනටමත් වැළදී ඇත්තේ නම් එය මනාවට පාලනය කල් යුතුමය. ඒ හැර ඒ සදහා දෙවන විකල්පයක් නැත. මීටත් වඩා ගර්භණී මවත් පාලනය විය යුත්තේ ඇය ජීවිත දෙකකටම වගකියන නිසාවෙනි.

මේ සදහා ක්‍රියාකළ යුතු ආකාරය මෙසේය.ගර්භණී භාවයට පත්වී මුල් මාස තුන තුළත (මුල් සති 12) විශේෂ සීනි පරීක්ෂාවකට ලක් කෙරේ. අනතුරුව සති 24 ත් 28ත් ඇතුලත මෙම අදාළ පරීක්ෂාව සිදු කෙරේ.

  • පළමු පියවරෙන් දිය වැඩියාවට ලක් වී ඇති බව හදුනාගතහොත් අදාළ ප්‍රසව සායනයකට යොමු කෙරේ.
  • අනතුරුව පෝෂ්‍යදායී සමතුලිත අහාර වේලක් සහ නිසි ව්‍යායාම යන සංකල්පය මෙම මවුවරුන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමුඛ ස්ථානය හිමි වේ.
  • අවශ්‍යම වුවහොත් ඉන්සියුලීන් නික්ෂේපණය හා Metformin යන ඖෂධය නිර්ණය කරනු ලැබේ.

ගර්භණී මුල් අවධියේදීම මෙම දියවැඩියා තත්වය හදුනා ගැනීම හේතුවෙන් නිසි අයුරින් නිසි කලට අවශ්‍ය ප්‍රතිකාර කල හැකිය. එම නිසා මව්වරුන්ට සංකුලතා වලින් තොර ගර්භණී සමයත් ගත කල හැකිවා පමණක් නොව ඉතා නීරෝගී පරිපූර්ණ දරු සම්පතකට උරුමකම් කිව හැකිය.

මීට අමතරව ගර්භණී බාවයට පත්වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ද තමන්ගේ රුධිර සීනි මට්ටම නිර්ණය කර ගැනීමට අවශ්‍ය රුධිර පරීක්ෂාවකට ගර්භණී වීමට පෙර ලක් වීම අත්‍යවශ්‍ය වේ. මෙම ක්‍රමවෙදයෙන්ම නීරෝගී ජාතියක් බිහිකළ හැකිය.

ගර්භණී සමයේ දියවැඩියාව වැළදී තිබූ මව්වරුන් දරු ප්‍රසුතියෙන් සති 6ත් 8ත් අතර රුධිර පරීක්ෂාවකට යොමු වීම අත්‍යවශ්‍ය වේ.

මෙම පරීක්ෂණයෙන් පසු අනාගතයේදී මවට හා දරුවට ඇති විය හැකි ස්ථුලතාවය හා දියවැඩියා තත්වය හැකි පමණින් වලක්වා ගත හැකිය.

ඔබ දන්නව ද? දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය ලෝකය පුරාම සීග්‍රයෙන් වැඩිවන බව. 2007 වසරේදී ශ්‍රී ලංකාව තුල පමණක් මෙම ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 10.3%කි. වර්තමානයේ මේ ප්‍රතිශතය මීට වඩා බොහෝ සෙයින් වැඩිය.

ගර්භණී සමයේදී පමණක් හටගන්නා දියවැඩියාව ප්‍රධාන නගර බද ප්‍රදේශයක 14% ප්‍රතිශතයක් ගන්නා බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළි වී ඇත.

සාමාන්‍යන් ගර්භණී සමයේ හටගන්නා මෙම තාවකාලික රුධිරයේ සීනි මට්ටම ඉහල යාම දරු ප්‍රසුතියෙන් පසුව යතා තත්වයට පත් වේ. මෙය විශේෂ තත්වයකි. එහෙත් ප්‍රසුතියෙන් පසුව ස්ථීරවම වැළදීමේ අවධානම නිරතුරුවම ඇත.

ආදරණීය මව්වරුනි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සහ දරුවා රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට සලසා ඇති පහසුකම් හා ක්‍රමවේද නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙසයි. පියවරුනි යම් හෙයකින් ඔබගේ අවධානය ගිලිහී ඇති නම් ඔබ ඇයට මාර්ගෝපදේශකයකු වී ගමනාන්තය දක්වා නිරුපද්‍රිතව ගෙනයන්න වග බලා ගන්න. නිරෝගී දරුවකු බිහි කිරීමටත් මවගේ නිරෝගී බව ආරක්ෂා කිරීමටත් අපගේ සෞඛ්‍ය සේවාව සියල්ල සුදානම් කර ඇත. ඒවා නිසි අයුරින් භාවිතා කරන්න, ප්‍රයෝජන ගන්න. ඔබට මේ ක්‍රියාන්විතයේදී පින් රැස් වේ. මන්ද අලුත් දරුවාට නිරෝගී සම්පත ලබාදීම නිසාය.

 

සැකසුම – පාලිත බණ්ඩාර

By Palitha Bandara

Source – HEB