FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ක්ෂය නොවූ ක්‍ෂය රෝගය

රෝගයට මුල බැක්ටීරියාවකි. Mycrobacterium Tuberculosis නම් වූයේ එම බැක්ටීරියාවයි. මෙය නිවැරදිව සොයා ගනු ලැබූයේ 1882 මාර්තු මස 24 වැනිදාය. ඒ “රොබර්ට් කොක්” නම් වූ ජර්මන් ජාතික වෛද්‍යවරයකු විසින්ය. මෙම දිනය සමරනු වස් වර්තමානයේ ලෝක ක්‍ෂය රෝග දිනය ලෙස මාර්තු 24 ප්‍රකාශයට පත් කොට ඇත.

ප්‍රධාන වශයෙන් පෙනහළු ආශ්‍රිතව වර්ධනය වන රෝගී තත්වයකි. එනමුත් ශරීරයේ වෙනත් අවයව ආශ්‍රිතව ද මෙය වර්ධනය වේ. 2016 වසරේදී ලැබුණු දත්තයන් වලට අනුව එය ප්‍රකට වන්නේ මෙසේය. 2016 දී වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 8886කි එයින් පෙනහළු ආශ්‍රිත රෝගීන් 6295 කි. ශරීරයේ වෙනත් අවයව හා පටක ආශ්‍රිතව ක්‍ෂය රෝගය වැළදුන රෝගීන් ගණන 2591කි.ප්‍රතිශතයක් ලෙස ගත්කල එය 20% කි. 80%ක්ම පෙනහළු ආශ්‍රිතව වර්ධනය වේ. රෝග ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වාතයේ පවතින අදාළ බක්ටීරියවෙනි. වාතයට මෙම බැක්ටීරියාව එකතු වන්නේ ප්‍රතිකාර නොගන්නා ආසාධිත රෝගීන්ගේ සෙම බිදිති මගිනි. රෝගියකි කහින විට, සිනාසෙන විට හා කතා කරන විට පිටවන කැහි බිදිති වල ඇති බැක්ටීරියා වාතයට එකතු වී එම වාතය තවත් කෙනෙකු ආශ්වාස කිරීමෙන් ඔහුට හෝ ඇයට බැක්ටීරියාව ශරීරගත වේ.

බැක්ටීරියාව ශරීර ගත වූ සියලු දෙනා රෝගීන් බවට පත් නොවේ. එය තීරණය වන්නේ පුද්ගලයාගේ ශරීරයේ පවතින ප්‍රතිශක්තියේ බලය අනුවය. උදාහරණයක් ලෙස දැනට ගණන් බලා ඇති පරිදි ලෝක ජනගහනයෙන් 4/3 ක්ම ක්‍ෂය රෝග බැක්ටීරියාව අසාධනය(ශරීර ගත වී ඇත) වී ඇත. නමුත් රෝගීන් බවට පත්ව ඇත්තේ මිලියන 10.4 ක් පමණි. මෙයින් 56%ක් පුරුෂයින් ද 34%ක් කාන්තාවන් ද 10%ක් ළමුන්ද ඇතුලත් වේ. තවද අලුතෙන් සොයා ගන්නා රෝගීන් ප්‍රමාණයෙන් මිලියන 1.2 ක් HIV අසධිතයන් බවට ද හදුනාගෙන ඇත. ලොව පුරා වාර්ෂික ව ක්‍ෂය රෝගය සිදුවන ඇස්තමේන්තු මරණ ප්‍රමාණය මිලියන 1.4කි. මෙයින් මිලියන 0.4ක්ම HIV රෝගීන් වේ. එනම් ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ය.

ක්‍ෂය රෝගය සදහා එක දිගට දිනපතා මාස 6ක් ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවට සුව කල හැක. එසේ නිට්ටාවටම සුව කල නොහැකි ප්‍රබේදයන්ද වේ. බහු ඖෂධ ප්‍රතිරෝදී ක්‍ෂය රෝගය එබදු තත්ත්වයකි.2016 දී ලංකාව තුල මෙම ගණයේ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇත.

ක්‍ෂය රෝගය වැළදුන රෝගියකුගේ රෝග ලක්ෂණ වශයෙන් ප්‍රකට විය හැක්කේ.

  1. සති දෙකකට වැඩි කැස්ස.
  2. රාත්‍රී කාලයේ ඇතිවන මද උණ සමග දහදිය දැමීම.
  3. ශරීරයේ බර අඩු වීම.
  4. රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම.
  5. කෑම අරුචිය.
  6. සෙම සමග රුධිරය පිටවීම.
  7. ශරීරය කෙට්ටු වීම

යන සන්කුලතාවයන්ය.

මෙම රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් හෝ පවතීනම් ඇති එකම විසදුම ලගම පිහිටි ළය රෝග සායනයට හෝ රෝහලට යාමයි. මෙලෙස ක්‍රමවත් ප්‍රතිකාර වලට යොමු නොවන්නේ නම් ඔබගේ රෝගය සුව නොවීම පමණක් නොව රෝගය බෝ කරන්නෙකු බවටද පත් වෙයි. එතනින්ද නොනැවතී සුවකළ නොහැකි බහු ඖෂධ ප්‍රතිරෝදී ක්‍ෂය රෝගී තත්ත්වයටද පත් විය හැක. කාලින් සදහන් කල පරිදි ක්‍ෂය රෝගය වැළදීමට ඇති අවදානම වැඩි වන්නේ ශරීරයේ ප්‍රතිශක්ති බලය දුර්වල වීම නිසාය. මෙම ප්‍රතිශක්තිය දුර්වල වීමට බලපාන හේතු කීපයකි.

එනම් .

  1. ශරීරයේ නිදන් ගත රෝග පැවතීම ( දියවැඩියාව වැනි ).
  2. HIV අසාධනය වී පැවතීම.
  3. අවයව බද්ද කිරීම වැනි දිගුකාලීනව ප්‍රතිකාර ලබාගත යුතු රෝග.
  4. මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි වලට ඇබ්බැහි වීම.
  5. මන්දපෝෂණය.
  6. වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් වීම.
  7. වයස අවුරුදු 65 ට වඩා වැඩි වයස්ගත වූවන් වීම.

මෙම රෝගී තත්වය පැතිරීම වැලක්වීමට ගත යුතු ක්‍රියා මාර්ග වන්නේ.

  1. කහින විට හා කිවිසුම් යන විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම.
  2. තැන තැන කෙල ගැසීමෙන් වැළකීම.
  3. මත්ද්‍රව්‍ය මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකීම.
  4. දියවැඩියාව ඇදුම වැනි කල් පවතින රෝග තත්වයන් ප්‍රතිකාර මගින් පාලනය කිරීම.
  5. ක්‍ෂය රෝගය පිලිබදව මනාව දැනුවත් කිරීම.
  6. මෙම රෝගීන්ට නිසියාකාරව ප්‍රතිකාර ගැනීමට සහාය වීමත්

යන ක්‍රියාමාර්ග නිවැරදිව ක්‍රමවත්ව ක්‍රියාවට නැන්වීමෙනි. තවත් වැදගත් කරුණක් වන්නේ ප්‍රතිකාර ආරම්භ කල පසු නියම ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිසි පරිදි නිසි මාත්‍රාවෙන් නොකඩවා නොවරදවා ලබා ගත යුතු බවයි. නැතහොත් ඖෂධ ප්‍රතිරෝදී තත්වයට පත් විය හැක. එසේ වුවහොත් තත්වය භයානකය.

ක්‍ෂය රෝගයේ ඉතිහාසයෙන් බිදක් ගෙනහැර දැක්වීමත් වටිනා බව හැගෙන නිසා ලියුම් කරු ඒ ගැනත් ලියන්නෙමි.

දැනට සොයාගෙන ඇති පැරණිම සාක්‍ෂිවලින් කියවෙන්නේ ක්‍රි.පූ. 3000 – 2400 ත් අතර කාලයේ ඊජිප්තුවේ පැවතුන බවයි. ඊජිප්තුවේ මමී වල කොදු ඇට පෙලේ ක්‍ෂය රෝග කාරක බැක්ටීරියාව නිසා විනාශ වී ඇති බවට සොයාගෙන තිබේ. ග්‍රීක සාහිත්‍යයේ දිරපත්වන රෝගය ලෙස හදුනාගෙන ඇත්තේ ක්‍ෂය රෝගයයි. ක්‍රි. ව. 1839 දී J .L . Schanlein විසින් ක්‍ෂය රෝගයට Tuberculosis යන නම යෙදීම. 1854 දී මෙය සුව කල හැකි රෝගයක් බවට හදුනාගැනීම හා in අනතුරුව 1882 දී වෛද්‍ය රොබර්ට් කොක් විසින් ක්‍ෂය රෝග කාරක බැක්ටීරියාව හදුනා ගනු ලැබීම. ක්‍ෂය රෝගය පිළිබද තිබූ බිය නැති වී යාමට තුඩු දුන් වැදගත්ම අවස්ථාවන්ය.

අනතුරුව 1921 දී B. C. G. එන්නත මිනිසුන්ට ලබා දීම ආරම්භ කිරීම හා Soloman Waxman යන විද්‍යාඥඥයා විසින් ප්‍රථම වරට ක්‍ෂය රෝගයට ප්‍රති ජීවක ඖෂධයක් සොයාගැනීම ඖෂධ නිපදවීමේ සන්ධිස්තනයන්ය.ඉන් දසක 3ක ට පසු දැනට ඇති බහු ඖෂධ ප්‍රතිරෝදී ක්‍ෂය රෝගය හදුනා ගනු ලැබුවා.

වර්තමානයේ ලෝකය පුරාම මෙන්ම පෞද්ගලිකව අප රටටද මුහුණ පාන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ක්‍ෂය රෝගීන් හදුනා ගැනීමයි. ශ්‍ර ලංකාව තුල පසුගිය වසරේ රෝගීන් 13000 කට අධික පිරිසක් සිටිතියි ඇස්තමේන්තු කලත් සොයාගත හැකි වූයේ 8886 දෙනෙකු පමණි. එනම් 4000 කට අධික රෝගීන් පිරිසක් යම් යම් හෙතුන් නිසා හදුනා ගත නොහැකි වී ඇත. ඔවුන් ප්‍රතිකාර නොමැතිව නිදැල්ලේ සමාජයේ සැරිසරයි. මෙය අති භයානක තත්වයකි. මේ තත්වය මගහරවා ගැනීමට අප සැවොම එක වී මෙහෙයුමක් දියත් කල යුතුමය. මන් ද ක්‍ෂය රෝගයෙන් යුතු ජාතියක් සිටින රටක ඉදිරි දියුණුව මන්දගාමී හෝ සම්පූර්ණයෙන්ම නැවතීමට ද ඉඩ ඇති හෙයිනි.

 

HEB මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරිනි.

වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , වෛද්‍ය කාන්ති ආරියරත්න අධ්‍යක්ෂ -NPTCCD , වෛද්‍ය සුදත් දර්මරත්න අධ්‍යක්ෂ – NHRD ප්‍රමුක වෛද්‍ය දේශක මඩුල්ල.

 

සැකසුම – පාලිත බණ්ඩාර.