FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ක්ෂණිකව ප්‍රතිකාර සදහා යොමු වූයේ නම් ආඝාතය දරුණු නැත.

මොකක්ද මේ ආඝාතය කියන්නේ ?. මෙය හදිස්සියේ ඇති වන රෝගී තත්ත්වයක්. අංශබාගය ඇතිවන්නේත් මේ නිසා. එම නිසාම සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය අංශබාගය ලෙසද හදුන්වයි. ශරීරය යනු ජීව ශෛලවල එකතුවකි. එම ශෛලවල ජීවී බව පවත්වා ගැනීමට ඔක්ෂිජන් අත්‍යවශ්‍යය  වේ. ප්‍රධාන වශයෙන් මෙම මූල ද්‍රව්‍යය  නොලැබී යාමෙන් ශෛලවල ජීවී බව නැති වේ.  මරණයට පත් වේ. මේ ඔක්ෂිජන් හා අනිකුත් පෝෂ්‍ය  පදාර්ථ ශෛල කරා ප්‍රවාහනය කරනු  ලබන්නේ රුධිරය මගිනි. රුධිරය ගමන් කරන රුධිර නාලිකා අවහිර වීමෙන්. රුධිර ගමනය අවහිර වේ. එම නිසා ශෛලවලට අවශ්‍ය වන ඔක්ෂිජන් නොලැබේ, ශෛල මරණයට පත්වේ.

1

ආඝාතයට හේතු වන්නේ මොළයේ ශෛල හෙවත් නියුරෝන ශෛල මිය යාමයි. මොළය කරා රුධිරය සපයන නාලිකා තුල රුධිරය කැටි ඇතිවීම් වැනි හේතුන් නිසා රුධිර සංසරණයට බාධක ඇති වේ. එවැනි අවහිර වූ රුධිර නාලිකා මගින් පෝෂණය සපයන මොළයේ අදාළ ප්‍රදේශයට ඔක්ෂිජන් නොමැති වීමෙන් එම ප්‍රදේශයේ ශෛල මරණයට පත් වේ. ආඝාතය ඇති වීමට ප්‍රධාන හේතුව මෙය වුවත් තවත් අයුරකින් මෙයට ගොදුරු විය හැක. එනම් මොළය තුල පවතින රුධිර නාලිකාවක් පිපිරීමෙන් ද මේ තත්වය උදා විය හැක.

මෙම ක්‍රම දෙකෙන් කිනම් ක්‍රමයකින් නියුරෝන ශෛලවලට ඔක්ෂිජන් හා පෝෂණය නොලැබුනත් ශෛල මිය යාම නම් සිදුවේ. අඝාත රෝග ලක්ෂණ ප්‍රකට වන්නේ මොළයේ හානි වූ ප්‍රදේශය අනුවය. ආඝාතය පිළිබද කලින් හදුනා ගත හැකි අනතුරු හැගවීම් ඇත. ඒවා නම්.

1). හදිස්සියේ ඇතිවන හිස රදය.
2). හදිස්සියේ ඇතිවන ගිලීමේ අපහසුව.
3). හදිස්සියේ ඇතිවන පෙනීමේ වෙනස්කම්.
4). හදිස්සියේ ඇතිවන ඇවිදීමේ අපහසුකම, කරකැවිල්ල සහ සමතුලිත තාවයේ වෙනස්කම්.
5). හදිස්සියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැති වීම හෝ දැනීම (සංවේදීතාවයේ) වෙනස් වීම්.

අතිශය වැදගත්ම කරුණ නම් , මෙම රෝගී තත්වයට හේතු වන හේතු සාධක මොනවාද යන්නයි. ඒවායින් ප්‍රධාන වශයෙන් බලපාන බවට සොයාගෙන ඇති හේතු සාධක මේවයි.

stroke2* අධික රුධිර පීඩනය
* රුධිරයේ අධික ලෙස කොලෙස්ටරෝල් තත්ත්වයක් තිබීම.
* දියවැඩියාව
* හදගැස්මේ අසාමාන්‍ය තාවය.
* දුම්පානය.
* තරබාරුකම
* ශාරීරික ව්‍යායාම මද බව.
* මත්පැන් අධිකව පානය කිරීම.
* ලබාගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන බව.

මේ හේතු සියල්ලම අපට එදිනෙදා ජීවිතයේදී දින චර්යාව ක්රමවත් කර ගැනීමෙන් නිවැරදි කර ගත හැකි එනම් වෙනස්කළ හැකි හේතු සාධකයි.  එම නිසා අඝාත අවදානම වලක්වා ගැනීමට මේ හේතු සාධක සියල්ල වෙනස් කරන්න. මීට අමතරව අපට වෙනස් නොකළ හැකි සාධක කීපයක් ද අඝාතයට හේතු වේ. ඒවා වන්නේ.

* වයස අවුරුදු 65 ට වැඩි වීම.
* පවුලේ ලගම ලේ ඥාතියකුට ආඝාතය සැදී තිබීම.
* කලින් අවස්ථාවකදී පුංචි ආඝාත තත්වයක් සෑදී තිබීම(පුංචි ආඝාත තත්වයේදී සිදුවන්නේ ආඝාත රෝග ලක්ෂණ සුළු වේලාවක් පැවතීමයි. එය මිනිත්තු කීපයක් හෝ පැය කීපයක් විය හැකියි. කෙසේ වෙතත් මේ තත්වය පැය 24ක් ඇතුලත සම්පූර්ණයෙන් සුව වේ.).
මතක තබා ගන්න පුංචි ආඝාත තත්වය යනු මරණයට හෝ ස්ථීර අබාධිත තත්ත්වයට හේතු වන ලොකු ආඝතයක පෙර නිමිත්තකි. එම නිසා මේ තත්ත්වය උදා වූයේ නම් හෝ මතක ඇති පෙර දිනයක උදා වී තිබේනම් අදම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔබට ප්‍රධාන ආඝාත තත්ත්වයෙන් වැළකිය හැක.

බිය නොවන්න. මන් ද , ආඝාතය වලක්වා ගත හැකි රෝගයකි. සාමාන්‍ය යෙන් මිනිසාට වැළදෙන ආඝාත වලින් 80% ක්ම වලක්වා ගත හැකි ඒවාය. ඒ සදහා ඔබ කල යුත්තේ, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීමයි. අධිකව දුම්පානය කිරීමෙන් වැළකීමත්, අධිකව මත්පැන් පානය කිරීමෙන් වැළකීමත්, ක්‍රියාකාරී දිවියකට හුරු වීමත්, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙතක් අනුගමනය කිරීමත් යන පුරුදු ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ශරීරයේ බර , රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම, නිතර පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් අනුව පාලනය කරන්න.

කෙසේ හෝ අවසානයේදී ඔබට ආඝාතය වැළදුනා යයි සිතන්න. බිය නොවන්න මේ සදහා ප්‍රතිකාර පවතී. මදක් හෝ පමා නොවන්න දිවා රෑ නොබලා යන්න වෛද්‍ය වරයා වෙත එසේත් නොමැති නම් රජයේ රෝහල වෙත යන්න(රෝගියා ගෙන යන්න).   මරණයෙන් බේරා ගැනීමට හෝ අබාධිත තත්ත්වය අවම කර ගැනීම සදහා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන ඉක්මන වැදගත් වේ. ක්ෂණිකව ක්‍රියාකාරී වීම සදහා ඔබ දකින මේ ලක්ෂණ හේතු කර ගන්න.

* මුහුණේ පැත්තක් පන නැති වීම
* කට(මුඛය) පැත්තකට අද වීම.
* එක් අතක් හෝ කකුලක් පණ නැති වීම.
* කතාවේ වෙනසක් ඇති වීම.
* කතා කිරීමේදී පැටලීම.
* ඔබ පවසන දේ රෝගියාට තේරුම් නොයාම.

ආඝාතයට ප්‍රතිකාර කිරීමට වඩාත් ඉහලම සුදුසුකම ඇත්තේ විශේෂඥ ස්නායු වෛද්‍ය වරයකුටය. මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහල, සියලුම ශික්ෂණ රෝහල් (රාගම, කලුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය , යාපනය , අනුරාධපුර හා මඩකලපුව), සියලු පළාත් රෝහල් හා මහා රෝහල්(කුරුණෑගල,රත්නපුර , බදුල්ල, මාතර හා කළුතර.) වල ස්ථාන ගත වී ඇත. මීට අමතරව කායික විශේෂඥ වෛද්‍ය වරුන්ද මේ සදහා මනා සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ය . මෙම වෛද්‍යවරුන්ට අමතරව මූලික සුදුසුකම්ලත් වෛද්‍යවරුන් සියලුම දෙනා ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට සුදුසුකම් ලද්දෝය. නොපමාව ඇදිවත පිටින්ම හෝ රෝහල වෙත දුවන්න.

මුලාශ්‍රය – සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
පාලිත බණ්ඩාර

By Palitha Bandara