FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather
ඉන්දියාව

කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ගැනීම සඳහා ඉන්දියාව වසා දැමීමට එරට අගමැති නරේන්ද්‍ර මෝදි නියෝග කිරීමත් සමඟ මිනිසුන් දහස් ගණනක් මුම්බායි හි දුම්රියපළ වෙත ගලා එන්නට පටන් ගත්හ.

ඔවුන් රැකියා සඳහා මුම්බායි නුවරට සංක්‍රමණය වූ පිරිසය.

නැවත දුම්රිය සේවා ආරම්භ වන බවට කටකතාවක් පැතිර ගිය අතර සමාජ දූරස්ථභාවය රැකගතයුතු බවට පවතින නීතිරීතිවලට අකීකරු වෙමින් සහ තමන් මෙන්ම අන් අයද අවදානමේ හෙළමින් ජනතාව මෙසේ ඒකරාශී විය.

තම පවුලේ සාමාජිකයන් සමඟ මෙම දුෂ්කර කාලය ගත කිරීමට ගම්බිම් බලා යාම සඳහා ගමනාගමන පහසුකම් සපයන ලෙසට ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

පොලිසිය ඒ වෙනුවට යෂ්ටි ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළහ.

ඇඟලුම් කම්හල් සේවකයෝ

මේ අතරතුර, ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයක් වූ ගුජරාට් හි ඇඟලුම් කම්හල් සේවකයෝ ද සුරාත් නගරයේ උද්ඝෝෂණය කරමින් සිටියෝය.

ඉන්දියාවේ කොරෝනාවෛරස වසංගතය

ඔවුන්ගේ ඉල්ලීම වූයේ ද තමන්ට නිවෙස් බලා යාමට මගක් පාදා දිය යුතුය යන්නය.

ගතවූයේ එක් දිනක් පමණි. දිල්ලි අගනුවර යමුනා ගඟ අසබඩ පිහිටි පාලමක් යට ජීවත් වන සිය ගණනක් සොයා ගැනුණි. ඔවුහු ද රැකියා සඳහා පිට පළාත්වලින් දිල්ලියට පැමිණි ජනතාව වූහ.

යමුනා ගඟ මලාපවාහන පද්ධතියකට සමාන විය. කසල විසුල ගං ඉවුරු අපවිත්‍රය.

පාලම යට සිටි මිනිසුන්ගෙන් දිස් වන්නේ ද අපවිත්‍ර පෙනුමකි. දින තුනකින් ඔවුන්ගේ කුසට අහරක් ලැබී නොමැත.

මොවුන් කලින් ජීවත් වූ නිවහන් පුළුස්සා දමා තිබුණි. දැන් ඔවුන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

මිලියන 40කට වැඩි සංක්‍රමණික කම්කරුවෝ

රැකියාවක් සොයා ගැනීම සඳහා නගරයට ඇදී ආ දුප්පත් ජනතාව, රට වසා දැමීම හේතුවෙන් පත්ව ඇති අසරණ තත්වය පිළිබඳව මෙම සිදුවීම හරහා බොහෝ දෙනාගේ කතා බහට ලක්විය.

නිවෙසින් ඈත නගරයක කොටු වූ ඔවුනට අවසානයේ රැකියාවක් ද නැත. අතේ තඹයකුදු නැත.

ඉන්දියාව

සංක්‍රමණික කම්කරුවන් පිළිබඳ ප්‍රශ්නය ඉන්දියාවට පමණක් ආවේනික වූවක් නොවන බව සැබවි. නමුත් ඉන්දියාව තුළ එය මහා පරිමාණයෙන් පවතී.

ඉන්දියාව පුරා සිටින සංක්‍රමණික කම්කරුවන්ගේ ප්‍රමාණය මිලියන 40කට අධිකය. මේ සියලු දෙනාට සහනයක් සැලසීම දුෂ්කර වී තිබේ.

මොවුන්ගෙන් වැඩි දෙනා ගමෙන් නගරයට පැමිණ ඇත්තේ ගෘහස්ත සේවකයන්, රියදුරන්, ගෙවතු කම්කරුවන් ලෙස සේවය කිරීමට ය.

ඇතැමෙක් ලැබෙන දෙයක් කර දවසේ කුලිය සොයා ගනිති. ඒ සඳහා ඔවුහු ගොඩනැගිලි හෝ මහා මාර්ග ඉදිකිරීම් කෙරෙන ස්ථාන සොයා යති. ඇතැමුන් පදික වෙළඳාමේ යෙදෙති.

එක් විවේචකයෙකු කියා සිටියේ කොරෝනාවෛරස් වසංගතය හමුවේ, ඉන්දියාවේ දුප්පත් ම පුරවැසියන් වන සංක්‍රමණික කම්කරුවන්ට සැලකූ ආකාරය රටට ලජ්ජා සහගත බවය.

රැඳවුම් භාරයේ සිටියත්, පදික වේදිකාවේ නින්දට ගියත්, පාලමක් යට දිවි ගෙවතත් ඔවුහු පීඩාවට පත්ව සිටිති.

දැඩි නීති රීති ලිහිල්කරන තුරු බලා සිටින්නේ ගම්බිම් බලා යාමටය.

රැඳවුම් මධ්‍යස්ථානයක්

දින කිහිපයකට පෙර දිල්ලියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලකට මම ගියෙමි. නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන රැඳවුම් මධ්‍යස්ථානයක් එහි විය.

සරණාගතයන් 380කට එය තාවකාලික නිවහනකි. එහි සිටි පිරිමි, ගැහැණු සියලු දෙනාම ඇසූ එකම පැනය වුයේ “මට ගෙදර යන්න පුළුවන් කවදාද?” යන්නය.

මාර්තු 29 වනදා පටන් මනෝජ් අහිර්වාල් මෙහි රැඳී සිටින්නේ සිය පවුලේ සාමාජිකයන් ද සමඟය.

පොලිසිය අපිට කිව්වේ අපව ගෙදරට ඇරලවන්නම් කියල. එහෙම කියල අපිව අරගෙන ආවේ මෙතෙන්ට. ඔවුන් අපව රැවට්ටුවාරැඳවුම් කඳවුරක කොටු වූ සංක්‍රමණිකයෙක්

“පොලිසිය අපිට කිව්වේ අපව ගෙදරට ඇරලවන්නම් කියල. එහෙම කියල අපිව අරගෙන ආවේ මෙතෙන්ට. ඔවුන් අපව රැවට්ටුවා.” ඔහුගේ ස්වරයේ අසරණ බවක් පවතී.

25 හැවිරිදි මොහු පසුගිය මාසයේ දිල්ලියට පැමිණ ඇත්තේ සිමාරියා ගම්මානයේ සිටය. ඒ දිල්ලියෙන් කිලෝ මීටර 650ක දුරකි.

ඒ වනවිට ඔහුගේ මව සහ තවත් ඥාතීන් 21 දෙනෙකු දිල්ලියේ ගොඩනැගිල්ලක් ඉදිවන වැඩ බිමක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇත. මනෝජ් ද ඔවුනට එක් විය.

ඔහුට එම වැඩ බිමේ සේවය කළ හැකි වූයේ දින තුනක් පමණි. මාර්තු 25 වනදා රට වසා දමන බව නිවේදනය කෙරුණි.

ඔවුන්ගේ ජීවිකාව නතර විය. අතේ තිබූ සොච්චම ද ඉක්මනින් වැය වෙමින් පැවතුනි. නැවත ගමට යාමට ඔවුහු තීරණය කළහ.

නමුත් ඒ සා දුරක් යාමට බසයක් හෝ දුම්රියක් නොතිබිණි. ප්‍රාන්ත සීමා කපොළු ද වසා තිබුණි. ප්‍රාන්ත කපොල්ල අසල රැඳී පිරිස වෙනුවෙන් ආණ්ඩුවෙන් බස් සේවාවක් යොදවන බවට ආරංචිය මොවුනට සල වූයේ මාර්තු 28 වනදාය. ඔවුහු ආනන්ද් විහාර් බස් නැවතුම්පළ බලා ලහි ලහියේ පැමිණියහ.

ඒ වනවිට යොදවා තිබූ බස් රථ පිටත්වී හමාරය. තවත් දහස් ගණනක් එම ස්ථානයේ කොටු වී සිටියහ. කළ හැකි වෙනත් යමක් නොවූයෙන් ගමනාන්තය දක්වා දෙපයින් යාමට ඔවුහු තීරණය කළහ.

“අපි පාන්පිටි කිලෝ 10ක් අරගත්තා. අල ටිකකුයි තක්කාලි ටිකකුයි ගත්තා. හැමදාම රෑට පාර අයිනේ උයාගෙන කනවා කියල අපි හිතුව.” රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි කලිබායි අහිර්වාල් පැවසුවාය.

මෙය තෙමහල් පාසල් ගොඩනැගිල්ලකි. ළමුන් සහ ගැබිණි කාන්තාවන් ද මෙහි වසති. තුන් වේලට පිසූ ආහාර ලැබෙයි. ඔවුන් ඊට කෘතඥ වන අතරම ඉන් මිදී ගමට යාම ඔවුන්ගේ එකම අභිප්‍රායයි. ඔවුන්ගේ වගා බිම්වල අස්වනු නෙලන කාලය ආසන්නවී පවතී. මනෝජ් ගේ පියා වගාවන් රැක බලාගෙන සිටී.

“මීළඟ කන්නේ වගා කටයුතු පටන් ගන්නත් ඕන. ආණ්ඩුවෙන් අපිට තව මාස තුනක් කන්න දෙයි. ඊට පස්සේ අපි කන්නේ මොනවද?” කලිබායි විමසන්නීය.

අගමැති මෝදි රට වසා දමන බවට නිවේදනය කළේ යන්තම් පැය හතරක් කල් දෙමිනි. ඒ සමඟ ඇතිවූ අර්බුදය තවමත් විසඳා ගැනීමට හැකිවී නැත.

එම නිවේදනය නිකුත්වීමත් සමඟ මිලියන ගණනක් සංක්‍රමණික කම්කරුවවෝ නගරය අතහැර යාමට පටන් ගත්හ. පිරිමි, ගැහැණු සහ ළමුන්ගෙන් මහා මාර්ග පිරී තිබුණි. තම අඩුමකුඩුම කර ගසාගෙන සැතපුම් සිය ගණනක් දුර දෙපයින් ඇදෙන්නට විය. කිහිප දෙනෙක් අතරමග මරණයට පත් වුහ.

ජීවිත රැක ගැනීම සඳහා රට වසා දැමීම අත්‍යවශ්‍ය බව බලධාරීහු පවසති. නමුත් එය නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් දුප්පත් කමේ අන්තයේ සිටින පුරවැසියෝ ඉන් දැඩි පීඩාවකට ලක් වූහ.

රැකියා අහිමි වීම තුළ බොහෝ සංක්‍රමණික සේවකයන් දිවි ගැට ගසා ගන්නේ ආණ්ඩුවෙන් හෝ පුණ්‍යායතනයකින් බෙදා දෙන ආහාරයක් මත යැපීමෙනි. ඇතැමුන් සිඟමන් යැදීමට ද පත්වී ඇත.

තෙලන්ගානා ප්‍රාන්තයේ සිට ඡතිසඝාර් ප්‍රාන්තය බලා ගමන් කරමින් සිටි 12 හැවිරිදි දැරියක් කිලෝ මීටර 150ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ බව මෙම ලිපිය ලියමින් සිටින මොහොතේ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

දින තුනක් තිස්සේ දෙපයින් ගමන් කරමින් සිටි ඇය මරණයට පත් වී ඇත්තේ සිය නිවසට කිලෝමීටර 14ක් පමණක් තිබියදී ය.

“රට වසා දැමූ ආකාරය ඉතා අමානුෂිකයි.” ක්‍රියාධරයෙකු වන නීතිඥ ප්‍රශාන්ත් භූෂාන් බීබීසීයට පැවසුවේය. සංක්‍රමණික සේවකයන්ට සිය ගම්බිම් කරා සුරක්ෂිතව යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කර ඇත.

“කෝවිඩ්-19 රෝගය වැළඳී නොමැති අය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම වැරදියි. ඔවුන්ට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් ලබා දීමට ආණ්ඩුව වගබලා ගත යුතුයි.”

මාර්තු 29 වැනිදා මෙම රැඳවුම් ස්ථානය ආරම්භ කළ මොහොතේ පටන් රැඳවියන් 380 දෙනාම දිනපතා පරීක්ෂාවට ලක් කෙරෙන බවත් මේ දක්වා කිසිවෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බවත් එහි සිටි සෞඛ්‍ය නිලධාරී නීලම් චෞද්රි පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථානවල සංක්‍රමණික සේවකයන් 600,000ක් සිටින බවත් තවත් මිලියන 2.2කට ආහාර සපයන බවත් බලධාරීහු පවසති. නමුත් තවත් මිලියන ගණනකට තවමත් පිළිසරණක් නොමැත.

“කොටුවී සිටින්නන් වර්ග දෙකක් ඉන්නවා. දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන වශයෙන්.” අතරමං වී සිටින සේවකයන් වෙනුවෙන් පවතින ක්‍රියා ජාලයේ අනින්දිත අධිකාරි පවසයි.

රැඳවුම් මධ්‍යස්ථානවල ඉන්න අය තමයි දෘශ්‍යමාන උදවිය. නමුත් ඉන් පිටත විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් දැන් ජීවත් වන්නේ ගුවන් පාලමක් යට, පදික වේදිකා මත, මුඩුක්කුවල, එක්කෝ වැඩපළේ කොටු වෙලා. තවත් සමහරු බලහත්කාරයෙන් වැඩ ගන්න කඳවුරු තුළ.”

ඇතැම් ස්ථානවල ආහාරවේලක් ලබා ගැනීම සඳහා කිලෝමීටර දෙකක් පමණ දිගු පෝලිම් පවතින බව ද අසන්නට ලැබුණි.

රට වසා දැමීම සාර්ථක විසඳුමක් නොවන බව නීතිඥ ප්‍රෂාන්ත් භූශාන් ගේ මතයයි. ඒ වෙනුවට ඉන්දීය නීති සංග්‍රහයට අනුව හතර දෙනෙකුට වඩා ඒකරාශී වීම තහනම් කිරීම සුදුසු යැයි ඔහු යෝජනා කළේය.

රට වසා දැමීම නිසා ඇති වන දීර්ඝ කාලීන බලපෑමක් ලෙස අන්ත දුගී බව සහ කුසගින්නේ මිය යාම ඇතිවිය හැකි බව ඔහු පැවසීය.

“දුප්පතුන් සහ පහළ මධ්‍යම පාන්තිකයන් දීර්ඝ කාලීනව දුකට පත්වෙනවා.”

සියලු දේ වසා දැමීමෙන්, ජීවිත ලක්ෂයක් බේරා ගන්න හැකි වේවි. ඒත් දිගටම රට වසාගෙන සිටීමෙන් මිලියනයක් කුසගින්නේ සහ හාමතේ මැරේවි,” ඔහු ප්‍රකාශ කළේය.

ගීතා පාන්ඩේ බීබීසී නිව්ස්, දිල්ලි

මුලාශ්‍රය – BBC